ඉස්සර

මහ රූස්ස ගහක් වෙච්චි

දිවුල් ගහ

අප්පච්චියි මමයි

තරගෙට ගහන

බර පොලු වරුසාවට

මහ ගොඩක් ගෙඩි

ආඩම්බරෙන් බිම දැම්මට


අද

කේඩෑරි ගහක් වෙලා

ඒ දිවුල් ගහම

තනි මගේ

දිරච්ච පොලු පාරවල්

දුසිමකට විතර

ගෙඩි දෙකයි බිම දැම්මෙ

ඒකත් ඕනෙවට එපාවට


ගහටත් මහන්සි ඇති

මට වගේම

අප්පච්චිගෙ මතක

පස් අවුරුද්දක්

හිතේ තද කරං ඉදල

කාටවත් නොකිව්වට

පරන ගස් පෙරලෙද්දි

අලුත් ගස් නැගිටිනව

ඒකයි සොබාදහමෙ

හැංගිච්ච නීතිය